දොම්නස් අභිරහස්

(අඟහරුවාදා, සිකුරාදා සහ චතාරික සමයේ ඉරුදිනවල)

සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී, පිතාගෙත් පුත‍්‍රයාගෙත් ස්ප‍්‍රීතු සාන්තුගෙත් නාමයෙන් .  ආමෙන්

දයාධික මනස්ථාපනය

මාගේ දෙවියනි මා ඔබ වහන්සේට අනදර කල නිසා බොහෝ සේ වික්ෂෝප වෙමි. මාගේ පාප වලින් මා සදාකාල නිරගින්නට හිමි වූ හෙහින්ද මාගේ දයාබර ජේසුස් ක්‍රිස්තු ස්වාමි දරුවන් කුරුසියේ ඇණ ගැසූ හෙයින්ද විශේෂ කොට සර්වදයා යහපත්කම් ඇත්තාවූ ඔබට අනදරකළ හෙයින්ද සියලු දේට වඩා මම ඒවාට වෛර කරමි. මා කළ පාපවලට මාගේ මුළු හෘදයෙන් ක්ෂමාව ඉල්ලමි. ඔබ වහන්සේගේ පිහිටෙන් මින්මතු පව් නොකර සිටින්නටත් පව් ප්‍රස්ථා වලින් වැලකි සිටින්නටත් ඒකාන්තයෙන් පොරොන්දු වෙමි. ආමෙන්….

විශ්වාස ලක්ෂණය

අහස පොලොව මැවූ සියලු බලැති දෙවි පියාණන් කෙරෙහිද, උන්වහන්සේගේ එකම පුත්‍ර වූ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් ගැබබැස කන්‍යා මරියාවන්ගෙන් උපන් සේක. පොන්සියෝ පිලාත් යටතේ වද විද කුරුසියේ ඇණ ගැසුම් කා උකුත් වී තැන්පත් කරනු ලැබූ සේක. පාතාලයට බැස තුන්වැනිදා මළවුන් කෙරෙන් නැගිට වදාරා, ස්වර්ගයට නැගී, සියලු බලැති දෙවිපියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. එහි සිට ජිවතුන්ද, මළවුන්ද විනිශ්චය කරන්නට නැවත වඩින සේක. ශුද්ධාත්මයාණන් කෙරෙහිද, ශුද්ධවූ කතෝලික සභාව කෙරෙහිද, සාන්තුවරයන්ගේ සහභාගිත්වය කෙරෙහිද, පාප ක්ෂමාව කෙරෙහිද, මළවුන්ගේ නැවත නැගිටීම කෙරෙහිද, මතු පැමිණෙන සදා ජීවිතය කෙරෙහිද, විශ්වාස කරමි. ආමෙන්

ස්වර්ගයෙහි වැඩසිටින

ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටුවේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කල මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද අපට කමා කල මැනව. පාප අවස්ථා වලට අසුවීමට අපට ඉඩ නොදී, අයහපතින් අප මුදා ගත මැනව. ආමෙන්

පිතාවන දෙවියන්ගේ කුමාරි වූ පිරිසිදු දේව මාතාවෙනි අප දේව විශ්වාසයේ දියුණු වන ලෙස ඔබගේ ශ්‍රී කුමාරයා ඉදිරියෙහි යාච්ඤා කළ මැනව

 

නමෝ මරියනි

නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පුර්ණවන්තියනී, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය, ස්ත්‍රීන් අතුරින් ආශීර්වාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශීර්වාද ලද්දාවුමය. සාන්ත මෑණියනි, දේව මෑණියනි පාපිවූ අප උදෙසා දැනුත් අපේ මරණ වෙලේදීත් යාච්ඤා කළ මැනව. ආමෙන්

පුත්‍රවන දෙවියන්ගේ මාතා වූ පිරිසිදු මරියනි, අප දේව ඇදහීමෙහි දියුණු වන ලෙස, ඔබගේ ශ්‍රී කුමාරයා ඉදිරියෙහි යාච්ඤා කළ මැනව.

නමෝ මරියනි…

ස්ප්‍රිතු සාන්තු වන දෙවියන්ගේ ප්‍රිය කාන්තාව වූ දේව මාතවෙනි, අප දේව ප්‍රේමයෙහි දියුණුවන ලෙස ඔබගේ ශ්‍රී කුමාරයා ඉදිරියෙහි යාච්ඤා කළ මැනව.

නමෝ මරියනි…

ත්‍රිත්වික ස්ත්‍රෝත්‍රය

පිතා, පුත්‍ර, ස්ප්‍රීතුසාන්තු නම් ත්‍රීත්වීක ඒක දේවොත්තමයාණන්ට ස්තෝත්‍ර වේවා. ආදී වූවාක් මෙන් දැනුත් නිතිපතාත් අනන්ත කාලයෙහිත් වේවා. ආමෙන්.

පාතිමා යැදුම

අහෝ මාගේ ජේසුනී, අපගේ පාප වලට සමාව දුන මැනව. නිරා ගින්නෙන් අප ගළවා ගත මැනව. සියලූ ආත්මයන් ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයන් ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. ආමෙන්

පළමුවන දොම්නස් අභිරහස

1. ජේසුස් වහන්සේ මල් උයනේ දුක්විඳීම

යාච්ඤා කරම්හ.
වික්ෂෝප මාතා වූ පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබතුමියගේ ශ්‍රී කුමාරයා මල් උයනේදී මරණාසන්න දුකින්, පිතාවන දෙවියන්ට යාච්ඤා කළ විභාගයට, මේ දස ආරාධනා පන්තිය හේතුකොට, අපිත් අපේ අපහසුවෙලෙහි කරන යාච්ඤාවල්, දෙවියන්ට ඔප්පුවෙන සැටියට වරම් ලබාදෙනවා සොඳේ.

ශුද්ධවූ මාක් 14:34-36

ස්වර්ගයහි වැඩසිටින 1 නමෝ මරියනි 10 ත්‍රිත්වික ස්ත්‍රෝත්‍රය 1 පාතිමා යැදුම1

( සෑම ජපමාල පන්තියක් අවසානයේම කියන්න )

දෙවන දොම්නස් අභිරහස

2. ජේසුස් වහන්සේ ගල් කණුවේ කස පහර විඳීම

යාච්ඤා කරම්හ.

වික්ෂෝප මාතා වූ පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබතුමියගේ ශ්‍රී කුමාරයා ගල්කනුවේ බැඳුම්කා කසපහරවල් විඳි විභාගයට, මේ දස ආරාධනා පන්තිය හේතුකොටගෙන, අපේ, පව්වලින් අපට යෙදෙන අච්චු, ශුභ සිතින් ඉවසන්නට වරම් ලබා දෙනවා සොඳේ.

ශුද්ධවූ ජුවාම් 19:1

ස්වර්ගයහි වැඩසිටින 1 නමෝ මරියනි 10 ත්‍රිත්වික ස්ත්‍රෝත්‍රය 1 පාතිමා යැදුම1

තෙවන දොම්නස් අභිරහස

3. ජේසුස් වහන්සේගේ හිස මත කටු ඔටුන්නක් පළඳවනු ලැබීම

යාච්ඤා කරම්හ.
වික්ෂෝප මාතා වූ පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබතුමියගේ ශ්‍රී කුමාරයා කටු ඔටුන්නක් දරා නින්දා පරුෂවල් ඉවසූ විභාගයට, මේ දස ආරාධනා පන්තිය හේතුකොටගෙන, අපටත් ලෝකමාන්න තාන්නවලට ආශා නොවන සැටියට, වරම් ලබාදෙනවා සොඳේ.

ශුද්ධවූ මාක් 15:17-18

ස්වර්ගයහි වැඩසිටින 1 නමෝ මරියනි 10 ත්‍රිත්වික ස්ත්‍රෝත්‍රය 1 පාතිමා යැදුම1

සිව්වන දොම්නස් අභිරහස

4. ජේසුස් වහන්සේ කුරුසිය උසුලාගෙන යාම

යාච්ඤා කරම්හ.
වික්ෂෝප මාතා වූ පිරිසිදු කන්‍යා බිසෝවෙනි!  ඔබතුමියගේ ශ්‍රී කුමාරයා බර වූ කුරුසේ උසුලාගෙන කපාල කන්දට වඩින්නා දැක දුක් වූ විභාගයට, මේ දස ආරාධනා පන්තිය හේතුකොට ගෙන, අපේ පව්බරින් අපට යෙදෙන කොයියම් දුකක් උසුලන්නට, වරම් ලබාදෙනවා සොඳේ.

ශුද්ධවූ ජුවාම් 19:17

ස්වර්ගයහි වැඩසිටින 1 නමෝ මරියනි 10 ත්‍රිත්වික ස්ත්‍රෝත්‍රය 1 පාතිමා යැදුම1

පස්වන දොම්නස් අභිරහස

5. ජේසුස් වහන්සේ කුරුසියෙහි උකුත් වීම

වික්ෂෝප මාතා වූ පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබතුමියගේ ශ්‍රී කුමාරයා කුරුසේ වදවිඳ උකුත්වුණා දැක දුක් වූ විභාගයට, මේ දස ආරාධනා පන්තිය හේතුකොටගෙන, අපටත් ලෝක සැපතට මළවුන්සේ කල්යවනා ලෙස, වරම් ලබා දෙනවා සොඳේ.

ශුද්ධවූ ලූක් 23:46

ස්වර්ගයහි වැඩසිටින 1 නමෝ මරියනි 10 ත්‍රිත්වික ස්ත්‍රෝත්‍රය 1 පාතිමා යැදුම1

ජපමාලය ඔප්පු කිරීම

සකල සුගුණ සම්පන්න වූ කරුණාභරිත වූ දේව මාතාවෙනි, ඔබ වහන්සේගේ ශ්‍රී පාද පද්මයට වැඳ නමස්කාර කර මේ ජපමාල ධ්‍යානය ඔබ වහන්සේට කියා ඔප්පු කර සිටිමු. මෙහි දී අප විභාග කළ කාරණාවල් අපට සිද්ධ කොට දී මෙලොවින් අප මිදී ගිය කල්හි ඔබ හා ඔබගේ ශ්‍රී කුමාරයාණන් දැක මෝක්‍ෂ සම්පත් ලබන සැටියට කරුණා කර වදාළ මැනව. ආමෙන්.

මංගල්‍ය ආරාධනාව

මංගල්‍යස්තු රාජේශ්වරිනී, ක‍්‍රපදයා මාතාවෙනි, අපේ ජීවිතයෙනි, අපේ අමෘතයෙනි, අපේ ආධාරෙනි, මංගල්‍යස්තු ! පරදේශවාසී වූ අපි ඒව අම්මාගේ පුත‍්‍රයෝ ඔබටම අඬගසම්හ. මේ කඳුළු විලෙහි අඬා වැලපී ඔබට ම සුසුම්ලම්හ. එසේ හෙයින් අපගේ මධ්‍යස්තිනී, මේ ඔබගේ දයාබර නේත‍්‍රවල් අප දෙස යොමු කළ මැනව. තවද මේ පරදේශය පසු වූ ඉක්බිති ඔබගේ ශ්‍රීකුසෙහි ආශිර්වාදලත් ඵලවන් ජේසු තුමන්ගේ දර්ශනය අපට ලබා දුන මැනව. දයාවන්තියනි, පරදුඃඛ්‍යා දුඃඛිතිනි, මධුර වූ නිත්‍ය කන්‍යා මරියනි, සාන්ත වූ දේව මෑණියනි, ක‍්‍රිස්තු වාක්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස කන්‍යා ශුද්ධවු දේව මාතාවෙනි, අප උදෙසා යාච්ඤා කළ මැනව. ආමෙන්.

 මරියතුමියගේ නිර්මල හෘදයට කැපවීමේ යාච්ඤාව

මරියතුමියගේ නිර්මල හෘදයෙනි, පව්කාරයන්ගේ සරණයෙනි, ඔබතුමිය විශේෂාකාරයෙන් අපගේ මාතාවන් හා රාජිනියද බව සිහි කල මැනව. අප ජිවිත කාලයේදීද, මරණ මොහොතෙහිදී හා මරණයෙන් පසුද නැවත නැවතත් මුළු හෘදයෙන් ඔබතුමියට කැපවෙමු. අතී ආදරවන්ත මෑණියනි, අපගේ පුජක පැවදිවුවන්ද ආශිර්වාද කළමැනව. අපගේ පවුල් ආරක්ෂා කළමැනව, අපගේ දරුවන් රැකබලා ගත මැනව. ජේසුතුමන්ගේ මාතාවන්වූ මරියනි, අපටද ඔබ නිරතුරු මවක් වුවමැනව. ආමෙන්

අපි යාච්ඤා කරමු

සර්වෝත්තම වූ දෙවි පියාණෙනී, ඔබ වහන්සේගේ ශ්‍රී කුමාරයාණෝ තමන් වහන්සේගේ ජීවිතය හා මරණය ද මළවුන්ගෙන් උත්ථාන වීම ද කරණකොටගෙන සදාතන ජීවිතයේ විපාකය අපට දානය කරන සේක් වේද? භාග්‍යවත් කන්‍ය මරිය තුමියගේ ජපමාලයේ අභිරහස් භාවනා කිරීමෙන් ද එහි අන්තර්ගත ධර්ම ගුණ අනුසාර කිරීමෙන් ද පොරොන්දු වූ එම විපාකය අත්කර ගන්නට අපට වරම් දෙවා වදාළ මැනව. ආමෙන්.

දේවමාතා ප්‍රාර්ථනාව

ස්වාමිනි කරුණා කළ මැනව
ක්‍රිස්තුනි කරුණා කළ මැනව
ස්වාමිනි කරුණා කළ මැනව
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව
පරමණ්ඩලවල වැඩ ඉදින පිතාවන දෙවියනි

අපට දයා කළ මැනව

ලෝකය නිදහස් කළාවූ පුත්‍රවන දෙවියනි
ස්ප්‍රිතු සාන්තුවන දෙවියනි
සුපරිශුධ ත්‍රිත්වයවූ ඒක දෙවියනි
ශුද්ධවූ මරියනි

අප නිසා යාච්ඤා කළ මැනව

ශුද්ධවූ දේවමෑණියනි
කන්‍යාති කන්‍යාවෙනි
ක්‍රිස්තොත්තමගේ මාතාවෙනි
දේව ප්‍රසාද මාතාවෙනි
අති සුවිශුද්ධවූ මාතාවෙනි
අති වෘථවූ මාතාවෙනි
කන්‍යාවෘත අභින්නවූ මාතාවෙනි
කන්‍යාශුද්ධ අනුනවූ මාතාවෙනි
ප්‍රේමනීයවූ මාතාවෙනි
ආශ්චර්යය යුක්තවූ මාතාවෙනි
යහපත් අනුශාසනා දායකවූ මාතාවෙනි
ශ්‍රේෂ්ධී ඇදුරාගේ මාතාවෙනි
රක්ෂාධිකාරහුගේ මාතාවෙනි
විසාරද බුධ්‍යාග්‍රවූ කන්‍යාවෙනි
වන්දනීයවූ කන්‍යාවෙනි
ප්‍රශංගනීයවූ කන්‍යාවෙනි
ශක්තිධාරීවූ කන්‍යාවෙනි
දයාබරිතවූ කන්‍යාවෙනි
විශ්වාසපක්ෂවූ කන්‍යාවෙනි
ධර්මනීති දර්පනෙනි
පරමඥාන ආසනෙනි
අපේ ආනන්ද කාරණාවෙනි
ඥාන පාත්‍රනි
අග්‍රාචාර යුක්තවූ පාත්‍රනි
අනර්ගවූ භක්ති පාත්‍රනි
දිව්‍ය අභිරහස් විෂයක පද්මයෙනි
දාවිත් රාජේන්ද්‍ර කිලෙනි
දැන්තමය ගෝපුරෙනි
ස්වර්ණමය මන්දිරෙනි
වාක්ප්‍රසාද ගැබයෙනි
පරමණ්ඩල වාසලෙනි
උදය තාරකාවෙනි
රෝගීන්ගේ ආරෝග්‍යයෙනි
පව්කාරයින්ගේ අඩක්කලමෙනි
වික්ෂිප්තයින්ගේ සැනසීමෙනි
ක්‍රිස්තියානින්ගේ පිහිටෙනි
සුරතාවයින්ගේ රාජේශ්වරියනි
ආදිපිතුරුවන්ගේ රාජේශ්වරියනි
දිවස්ප්‍රසාදින්ගේ රාජේශ්වරියනි
වේද සාක්ෂිවරයන්ගේ රාජේශ්වරියනි
අපෝස්තුලුවරයන්ගේ රාජේශ්වරියනි
වන්දනාවාදීන්ගේ රාජේශ්වරියනි
කන්‍යාවන්ගේ රාජේශ්වරියනි
සමස්ත ශුද්ධවන්තයන්ගේ රාජේශ්වරියනි
ජම්ම දෝෂරහිතව පිළිසිදුනාවූ රාජේශ්වරියනි
ස්වර්ගාරෝපිත රාජේශ්වරියනි
ශුද්ධවූ ජපමාල රාජේශ්වරියනි
සමාදානයේ රාජේශ්වරියනි

ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි 
අපට ක්ෂමාකළ මැනව ස්වාමි.

ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි 
අපේ ප්‍රර්ථනා අසා වදාළ මැනව ස්වාමි.

ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි 
අපට දයාකළ මැනව ස්වාමි.

ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වන ලෙස 
කන්‍යා ශුද්ධවූ දේව මාතාවෙනි, අප නිසා යාච්ඤා කළ මැනව

යාච්ඤා කරම්හ

සර්වබලධාරී වූ අනාදි අනන්තවූ දෙවියනි, මෝක්ෂම්පන්න මාතාවන කන්‍යාමරියතුමියගේ ගත හා ප්‍රාණය ඔබගේ ශ්‍රී කුමාරයාට ඔබින වාසස්ථානය වන ලෙස ස්ප්‍රිතු සාන්තු වරමින් හේතු යුක්තකරදී වදාළවේද, අප සතුටුව සිහි කරන ඕතුමියගේ දයාබර යාච්ඤාව බලා අපට යෙදෙන්නාවූ නපුරු වලින් හා අනවර්ත මරණයෙන් ගැලවීම සැලසුව මැනව.

මේකීදේ අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තු උදෙසාම ලැබේවා. ආමෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *